දර්ශන අශෝක කුමාර
ක්‍රිකට් ක්‍රීඩාවෙන්
පසු දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන්ගේ නායකයත්වයෙන් යුතු පාකිස්ථාන් තෙහරීක්-ඊ-ඉන්සාෆ්
(Pakistan Tehreek-e-Insaf (PTI) ) පක්ෂය පාකිස්ථාන මහ
මැතිවරණයෙන් ඉදිරියට පැමිණ සිටී. එහෙත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට බහුතර බලයක්
ලබා ගැනීමට හැකි වී නැත. එබැවින් ඔහුට ආණ්ඩුවක් පිහිටුවීමට නම් තවත් පක්ෂවල
සහයෝගය ලබා ගැනීමට සිදු වනු ඇත.
ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි
පක්ෂය පෙරමුණට පැමිණීමට ප්‍රධාන හේතුවක් වූයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ
පාකිස්ථාන් මුස්ලිම් ලීග්-නවාස් පක්ෂයට එරෙහිවත් නවාස් ෂරීෆ් මහතාට එරෙහිවත් බරපතළ
දූෂණ චෝදනා එල්ල වීමයි.
පාකිස්ථානයේ ආණ්ඩුවක්
පිහිටුවීම සඳහා කිසියම් දේශපාලන පක්ෂයක් විසින් පාර්ලිමේන්තුවේ අසුන් 172ක් ලබා ගත
යුතු වේ. පාකිස්ථාන පාර්ලිමේන්තුවේ අසුන්
342ක් වේ. ඉන් 272 දෙනෙකු ඍජුව ජනතා ඡන්දයෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරු වෙති. ආසන
60ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කර ඇති අතර තවත් අසුන් 10ක් ආගමික සුළුතරයන් වෙත
වෙන් කර තිබේ.
කිසියම් දේශපාලන පක්ෂයකට
ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 172 දෙනෙකුගේ සහාය ලබා ගත
යුතු වන අතර ම අවම වශයෙන් අසුන් 137ක් දිනා ගත යුතුය. සෙසු මන්ත්‍රී ධුර සංඛාව සභාගයක්
ලෙස වෙනත් දේශපාලන පක්ෂ සමඟ ඒකාබද්ධ ව සපුරා ගත හැකිවේ. ප්‍රකාශිත ව තිබූ ප්‍රතිඵල
අනුව ඉම්රාන් ඛාන් මහතාගේ පක්ෂයට හිමි වී තිබුණේ ආසන 113ක් පමණි.
මෙවර පාකිස්ථාන
මහමැතිවරණයට දේශපාලන පක්ෂ 30ක් පමණ සටන් වැදුණේය. ඔවුන් සිය අපේක්ෂකයන් ඉදිරිපත්
කළේ ප්‍රාන්ත 4ක් යටතේයි. ඒ පන්ජාබ්, සින්ද්, බලුචිස්ථාන්, කයිබර්-පක්තුන්ඛවා යන
ප්‍රාන්තයි. මහමැතිවරණය සඳහා අපේක්ෂකයෝ 3,459 දෙනෙක් තරග කළහ.
මෙවර පාකිස්ථාන
මහමැතිවරණය අතිශයින් තීරණාත්මක වූ අතර ඒ හේතුවෙන් ම බොහෝ ආරක්ෂක විධිවිධාන යොදා
තිබිණ. තුන්ලක්ෂ හැත්තෑඑක් දහසක බලඇණියක් ආරක්ෂාව සඳහා යොදවා තිබූ බව එරටින් ලැබෙන
වාර්තා සඳහන් කළේය. එසේවුවද ක්වෙට්ටා නගරයේ ඡන්ද පොළක පුපුරා ගිය බෝම්බයකින්
පුද්ගලයන් 31 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. එහි වගකීම බාරගත්තේ අයි
එස් සංවිධානයයි.
පාකිස්ථානය යනු මිලියන
207 ක ජනතාවකගේ වාසභූමියයි. ලෝකයේ පස්වැනි වැඩිම ජනගහනයක් ඇති රටයි. පාකිස්ථානය
1947 වසරේ බිහි වීමේ පටන් මේ දක්වා නිරන්තර දේශපාලන හැල හැප්පීම්වලට නතු වන රටකි. නිදහසින්
පසු පාකිස්ථානයේ අවුරුදු 70කට ආසන්න කාලයෙන් අඩකට ආසන්න කාලයක් පාලනය වී ඇත්තේ
හමුදාවන්ගේ යටතේය.
පාකිස්ථානයේ පසුගිය
ඉතිහාසය මුළුල්ලේ ම කිසියම් සිවිල් ආණ්ඩුවක් තවත් සිවිල් ආණ්ඩුවකට බලය පවරා ඇත්තේ
එක් වරක් පමණි. මේ දෙවැනි අවස්ථාවයි. ඊට පෙර සෑම අවස්ථාවක දී ම සිදු වූයේ හමුදා
කුමන්තුණයක් මඟින් සිවිල් ආණ්ඩු පෙරළා දැමීමයි. මේ හේතුවෙන් ප්රජාතන්ත්රවාදය
අභියෝගයට ලක් ව ඇති කලාපීය රටවල් අතර ඉදිරියෙන් ම පාකිස්ථානය සිටී.
හැල හැප්පිලි සහිත
පාකිස්ථානයේ මහ මැතිවරණය පසුගිය දා පැවැත්විණ. ඒ එරට 15 වැනි පාර්ලිමේන්තුව තෝරා
පත් කර ගැනීම සඳහායි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 106 ජනතාවක් ලියාපදිංචි වී
සිටියහ.
මෙවර මහමැතිවරණයේ දී
හිටපු අග්‍රාමත්‍ය නවාෂ් ෂරීෆ්, ඉම්රාන් ඛාන් බෙනාසීර් භූතෝගේ පුත් බිලාවල් භූතෝ
සර්දාරි ප්‍රබල චරිත ලෙසින් තරග වැදුණහ. කෙසේවෙතත් නවාෂ් ෂරීෆ්ගේ පාලක
පීඑම්එල්-එන් පක්ෂය හෙවත් පාකිස්ථාන් මුස්ලිම් ලීග් - නවාස් පක්ෂය බරපතළ අභියෝගයක්
වූයේ ඔවුන්ට එල්ල වී තිබූ බරපතළ දූෂණ චෝදනායි.
මහ මැතිවරණය පැවැත්වීමට
සති කිහිපයකට පෙර නවාස් ෂරීෆ්ට අවුරුදු 10ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය
තීරණය කළේය. ඊට හේතු වූයේ ඔහු විසින් හෙළි නොකළ වත්කම් පවත්වා ගෙන යෑමයි. නවාස්
ෂරීෆ් සතුව මහා බ්‍රිතාන්‍යයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස 4ක් ඇති බව පාකිස්ථාන
ජාතික වගවීම් විමර්ශන බියුරෝව (National
Accountability Bureau ) කළ පරීක්ෂණයක දී හෙළි
විය. නවාස් ෂරීෆ්ගේ දුවට සහ බෑණාට ද සිරදඬුවම් නියම විය. නවාස් ෂරීෆ්ගේ ඥාතීන් සම්බන්ධයෙන් 2015
වසරේ දී පැනමා පත්‍රිකා මඟින් හෙළිදරව්
වීමත් සමඟ ඔහුගේ දේශපාලන දිවියට කණකොකා හැඬලීය. එරට ශ්‍රේෂ්ඨාධිකරණය නවාස්
ෂරීෆ් දේශපාලනයට නොසුදුස්සෙකු වශයෙන් තීරණය කොට අවුරුදු 10ක සිර දඬුවමක් නියම කළේ
ද මෙම සිද්ධිය හා බැඳුණු වත්කම් හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙනි. නවාස් ෂරීෆ් මහා බ්‍රිතාන්‍යයේ
සිටිය දී දඬුව්ම නියම වුව ද ආපසු පාකිස්ථානය පැමිණීමට ඔහු කටයුතු කළේය.
ඔහුට දඬුවම් නියම වූයේ ඔහු
ලංඩනයේ සිටින අතරවාරයේ දී ය. තීන්දුව ලබා දුන් වහා ඔහු සඳහන් කළේ එය දේශපාලනික
පළිගැනීමක් බවයි. ඒ අතර ම ඔහු හමුදාව විවේචනය කළේය. නවාස් ෂරීෆ් කියා සිටියේ
පාකිස්ථානයේ හමුදාව යනු රාජ්‍යයක් තුළ රාජ්‍යයක් වශයෙන් කලක් පැවතිය ද දැන් එය
රාජ්‍යයටත් ඉහළින් ඇති දෙයක් බවයි. කෙසේවෙතත්, බොහෝ විචාරකයන්ගේ අදහස වන්නේ ද ඉම්රාන්
ඛාන්ගේ පීටීඅයි පක්ෂයට හමුදාවෙන් සහාය ලැබුණු බවයි.
පාකිස්ථානයේ හමුදාව ශක්තිමත්
වීම එය ඉන්දියාවෙන් වෙන් වූ යුගය දක්වා ඈතට ඇදී යයි. බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස් ව ඉන්දියාව සහ
පාකිස්ථානය වශයෙන් රාජ්‍යයන් දෙකක් වෙන් කිරීමේ දී එවක යටත් විජිත පාලනය යටතේ ක්‍රියාත්මක
වූ හමුදා කණ්ඩායම්වලින් සියයට 33ක් පමණ හිමි වූයේ පාකිස්ථානයටයි. එය පාකිස්ථානයට
දරා ගැනීමට නොහැකි තරම් දෙයක් වූ අතර මෙම බලවත් හමුදාව හිඩැසක් මතු වූ සෑම
අවස්ථාවක දී ම එරට පාලන බලය අල්ලා ගත්තේය.
1999 ඔක්තෝබර් මාසයේ දී නවාස්
ෂරීෆ්ගේ ආණ්ඩුව පෙරළා දමා ලේ නොසෙල් වූ හමුදා කුමන්ත්‍රණයක් මඟින් එවක ජෙනරල්
පර්වේස් මුෂාරෆ් බලය අල්ලා ගත්තේය. නවාස් ෂරීෆ් සහ පාකිස්ථාන හමුදාව අතර එවක පටන්
හොඳ හිතක් පැවතියේ නැත.
කෙසේවෙතත්, අභිනවයෙන්
බලයට පත් වීමට යන ඉම්රාන් ඛාන් කිසිදු දිනෙක ආණ්ඩුවක් මෙහෙයවා නැත. ඔහු විසින් නිර්මාණය කළ පීටීඅයි දේශපාලන පක්ෂය
පාකිස්ථානය තුළ වඩා වේගයෙන් ම වර්ධනය වූ දේශපාලනය පක්ෂය වේ. එය පිහිටුවා ගැනෙන්නේ
1996 වසරේ දීයි. ආරම්භයේ දී ඒ තරම්
සාර්ථකත්වයක් පෙන්වීමට අපොහොසත් වූ එම පක්ෂය 2002 වසරේ දී පැවති මහමැතිවරණයේ දී
දිනා ගැනීමට සමත් වූයේ එක් ආසනයක් පමණි. 2008 වසරේ දී එය මහ මැතිවරණය වර්ජනය කළ
අතර 2013 වසරේ දී ඡන්ද මිලියන 7.5ක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව වැඩිම ඡන්ද
ගණනක් ලබා ගත් දෙවැනි පක්ෂය බවට පත් විය.
සුබසාධන රාජ්‍යයක් ක්‍රියාත්මක
කිරීමේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වන පීටීඅයි පක්ෂය ප්රජාතන්ත්රවාදය, ආගම්වලට
එරෙහිව ක්‍රියාත්මක වන වෙන් කොට සැලකීම් ආදිය පිටුදැකීම සිය දර්ශනය කර ගෙන සිටී. ඉම්රාන්
ඛාන් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන නමක් හිමි කර ගත් ක්‍රීඩකයෙකි. 1992 වසරේ දී
පාකිස්ථානය ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර ගත්තේ ඔහු නායකත්වය යටතේය. ඉම්රාන් ඛාන්
මේ වන විට 65 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු
දූෂණ විරෝධී නායකයෙකු ලෙසට මේ වන තෙක් පාකිස්ථානය තුළ නමක් දිනා ගෙන තිබේ. පාකිස්ථාන්
හමුදාව සහ ඉම්රාන් ඛාන් අතර සම්බන්ධයක් නැති බව එම පාර්ශ්ව දෙක ම පසුගිය දිනවල දී
ප්‍රකාශ කළ ඔවුන්ගේ හැසිරීම අනුව පෙනී යන්නේ හමුදාවේ පැහැදිලි සහාය ඉම්රාන්
ඛාන් වෙත හිමි වී ඇති බවයි.