යුරෝපා සංගමය කියා දෙයක් අද ඉතිරි වී තිබෙනවා නම් ඒ තනි ගැහැනියක අනවරත අරගලයක සහ ශක්තියක ප්‍රතිඵලයක් නිසා යැයි කිය හැකිය. ඒ ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ය. මේ හේතුවෙන් ම ඇතැම්හු ඇය යුරෝපයේ රැජින යැයි අන්වර්ථ නාමයෙන් හැඳින්වූහ. 21 වැනි සියවසේ දී යුරෝපයට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රධාන අර්බුද තුනෙහි දී ම ජර්මනියට නායකත්වය දුන්නේ ඇයයි. ඇයගේ දූරදර්ශී නායකත්වයට නොවන්නට යුරෝපා සංගමය කැබලි බවට පත් වී යන්නට බොහෝ දුරට ඉඩ තිබිණ. කෙසේවෙතත්, අවුරුදු 16ක් දැරූ ජර්මන් චාන්ස්ලර් ධුරයෙන් ඇය විශ්‍රාම ගැනීමට තීරණය කළ නමුත් ඇයගේ සමුගැනීමත් සමග ම ඇය නියෝජනය කළ දේශපාලන පක්ෂය ෆෙඩරල් මැතිවරණයෙන් විරෝධාභාසයක් මතු කරමින් පරාජයට පත් විය. මෙම සංකීර්ණ තත්ත්වය ඉතා සියුම් ලෙස අධ්‍යයනය කළ යුත්තකි.
අවුරුදු 10ක කාලයක් අඛණ්ඩව ලොව බලවත් ම කාන්තාව බවට පත් වූ ඇන්ජෙලා මර්කල්ට ජර්මානු දේශපාලනය ම සම්පුර්ණයෙන් වෙනස් කිරීමට හැකි විය. ජර්මනියේ දේශපාලනය පිරිමින්ගේ අත තිබූ ප්‍රවේගකාරී ප්‍රවාහයක් වෙනුවට මර්කල් අතින් දේශපාලනයට වඩා ප්‍රතිපත්ති පාදක වු දෙයක් බවට පත් කෙරිණ. ඇය 2008 වසරේ දී ලෝක ආර්ථික අර්බුදය පැමිණි අවස්ථාවේ දී යුරෝ මුදල් ඒකකයේ ශක්තිය රැක ගැනීම සඳහා විශාල අරගලයක නිරත වූවාය. ඒ වන විට ඇය යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය වශයෙන් කටයුතු කරමින් සිටියාය. යුරෝපයේ දිළිදු රටවල ආර්ථිකය බිඳ වැටෙමින් යුරෝපා සංගමය පවත්වා ගෙන යෑම අර්බුදයක් වී තිබූ අවස්ථාවල දී ඒ රටවල ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් පළමුවෙන් ම ඉදිරිපත් වූයේ මර්කල්ගේ නායකත්වයෙන් යුතු ජර්මනියයි. 2010 වසරේ දී යුරෝපීය රටක් වන ග්‍රීසිය උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් මොහොතේ දී එරට ආර්ථිකය ගොඩගැනීම සඳහා පළමුවෙන් ම ණය ලබා දීම සිදු කළේ ද ජර්මනියයි. සමස්තයක් ලෙස යුරෝපයේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඇය යුරෝ මිලියන 330කට වැඩි මුදලක් ණය වශයෙන් ලබා දී තිබේ.
මෙම ණය ලබා දෙන මොහොතේ දී ඇය ග්‍රීසිය, පෘතුගාලය ආදී රටවලට දැඩි කොන්දේසි පැනවූවාය. ඇය ම වරක් පැවසූයේ බොහෝ පිරිසක් තමන් ගැන දැඩි කෝපයෙන් සිටිනු ඇති බවයි. එය එසේ ම සිදු වූ අතර රාජ්‍යයන්හි වියදම් කප්පාදු කිරීම සඳහා ඇය කළ යෝජනා නිසා මර්කල් ප්‍රතිපත්තියට දැඩි විවේචනය පැමිණියේය. කෙසේවෙතත්, අවසානයේ දී යුරෝපයේ දිළිදු රටවල ආර්ථික ආපසු හැරවුණු අතර යුරෝපා සංගමය කියා දෙයක් අදටත් පවතින තත්ත්වයට පත් කෙරිණ.
මර්කල්ගේ පාලන කාලය තුළ දී ජර්මනිය ඉතා ඉහළ ආර්ථික සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වූ අතර 2005 වසරේ සිට මේ දක්වා ජර්මනියේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ නැංවීමට ඇය සමත් වූවාය. මෙය ජර්මනියේ සිදු වූ දෙවැනි ආර්ථික ප්රාතිහාර්යය :ිැජදබා උසරඑිජය්ඓිඅමබාැර* ලෙසින් සලකනු ලැබේ. ජර්මනියේ කර්මාන්ත ක්ෂේත්රය ඉතා ශක්තිමත් අඩියකට ගෙන ඒමට හැකි වූ අතර සමස්ත යුරෝපයේ ම කර්මාන්ත ක්ෂේත්රයේ නිෂ්පාදනයෙන් සියයට 40ක කොටසක් හිමි කර ගැනීමට ජර්මනිය සමත් විය. චීනය සෑම අතකින් ම ලෝකයේ නිෂ්පාදනය අත්පත් කර ගනිමින් සිටින තත්ත්වයක් යටතේ ඇය මෙම ප්රාතිහාර්යය පෑවාය. බොහෝ රටවල් තම ආර්ථිකය චීනයේ සිට ආනයනය කෙරෙන භාණ්ඩ මත රදවා පවත්වා ගනිද්දි ජර්මනිය තමන්ගේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් බවට චීනය පත් කර ගැනීමට සමත් විය. චීනය ලාබ භාණ්ඩ නිෂ්පාදනය කරද්දී ජර්මනිය කළේ ඉතා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කල් පවත්නා භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. මෙය චීනයට ළං වීමට නොහැකි වූ වෙළෙඳපොළක් විය.
ඇය සෑම විට ම ජර්මානුවන්ගේ ක්‍රය ශක්තිය පවත්වා ගෙන යෑමටත් විරැකියාව සම්බන්ධයෙනුත් සාවධාන වූවාය. ඇයගේ පාලන කාලයේ දී සිදු වූ විශාලතම ජයග්‍රහණය වන්නේ රැකියා නිර්මාණය කිරීමයි. ඒ අතරින් කාන්තාවන් සවිවබල ගැන්වීම කෙරෙහි මර්කල් විශේෂ අවධානයක් යොමු කළ අතර ජී 7 කණ්ඩායමේ රටවල් අතර වැඩිම කාන්තා ශ්‍රම බලකායක් සිටින රට ජර්මනියයි. පසුගිය කාලයේ දී ඇති කොරෝනා වසංගතය හමුවේ ද ජර්මානු ආර්ථිකය ස්ථාවර ව පවත්වා ගැනීමට හැකි වූයේ ඇයගේ කලබල නැති ප්‍රතිපත්ති හේතුවෙනි. ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ඇමරිකා නායකයන් උමතුවෙන් හැසිරෙද්දී ඇය තම ප්‍රතිපත්තියේ එක ලෙස නොසැලී සිටියාය. කොරෝනා වසංගතය හමුවේ වුව ද ජර්මනිය තම මෑත ඉතිහාසයේ සෑම කලකට ම වඩා පොහොසත් ව සිටීමට සමත් වී තිබේ.
ඇය සිය ආර්ථික ප්‍රතිපත්තිය තුළ දී ඩිජිටල්කරණයට සහ නවීකරණය ප්‍රමුඛත්වය නොදීම ඇතැම් විචාරකයන්ට අනුව ප්‍රශ්නයක් වුව ද එය ම ඇයගේ ප්‍රතිපත්තියේ සුවිශේෂත්වය බව පෙනේ. ඇතැම් නායකයන් ඩිජිටල්කරණය පසු පස උමතුවෙන් මෙන් ගමන් කරද්දී ඇය කාර්මිකකරණය ඔස්සේ ස්ථාවර ආර්ථිකයක් කරා යොමු වූවාය. ෆුකුෂිමා අනතුරින් පසු රට පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වෙත යොමු කිරීමට සමත් වූ ඇය ගල් අගුරු භාවිතය 2035 වසර වන විට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.
මර්කල් පාලනය තුළ දී තවත් පුළුල් වශයෙන් කථා බහට ලක් වූ ක්ෂේත්රයක් වුයේ සරණාගතයන් පිළිබඳ ගැටලුවයි. 2015 වසරේ දී සිරියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ සිට ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් යුරෝපය දෙසට ගලා එමින් සිටිය දී මර්කල් පාලනය පැවසුවේ යුරෝපය තුළ ඔවුනට රැකවරණ ලබා දිය යුතු බවයි. ඇය ජර්මනිය ඒ සඳහා විවෘත කළ අතර අදටත් ඇතැම් කණ්ඩායම්වල දැඩි වෛරය ඇයට එරෙහි ව ගොඩනැගීමට මෙම ප්‍රතිපත්තිය හේතුවක් විය. ඇය ප්‍රසිද්ධියේ ම කියා සිටියේ යුරෝපය සරණාගතයන් පිළිබඳ මෙම ගැටලුව අමතක කර දමන්නේ නම් එය යුරෝපය නොවන බවයි. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ විශ්වීය ප්රකාශනයන්ට අනුගත නොවන යුරෝපය යුරෝපයක් නොවන බව දැඩි ලෙස අවධාරණය කළ ඇය මිලියන ගණනක සරණාගතයන් පිරිසකට සිය රටෙහි දොරටු විවර කළාය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජර්මනිය තුළ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වූ ්කඑැරබ්එසඩැ මෙර ෘැමඑිජයක්බා :්fෘ* නම් දේශපාලන පක්ෂය කෙරෙහි යම් ජන ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි විණ.
මෙම ප්‍රතිපත්තිය පසුකාලීන ව දේශපාලනික වශයෙන් ඉතා අයහපත් ආකාරයට මර්කල් වෙත බලපෑ අතර 2013 වසරේ දී පාර්ලිමේන්තුවේ ආසන 311 දිනා ගත් ඇයගේ පක්ෂයේ ආසන සංඛ්‍යාව 2017 වසරේ දී පැවති ඡන්ද විමසුමේ දී 65කින් අඩු කිරීමට හේතු විය. පසුගියදා පැවති ෆෙඩරල් මැතිවරණයෙන් ඇයගේ විශාල පරාජයක් අත් කර ගැනීමට මෙය අඩු හෝ වැඩි වශයෙන් බලපාන්නට ඇත. මිලියනයකට වැඩි සිරියානු සරණාගතයන් පිරිසකට ජර්මනියට පැමිණීමට ඉඩ දීමෙන් ඇය පෙන්නුම් කළ මානුෂිකත්වය ඇයට ගෙවන්නට සිදු වූ දේශපාලන වන්දියට කිසිදා සමාන කළ නොහැකිය.
මර්කල්ගේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය ද විශේෂ වීමට හේතුවක් වූයේ ඇය රුසියාව සහ චීනය සමග අනුගමනය කළ ප්‍රතිපත්තිය හේතුවෙනි. බොහෝ රටවල් රුසියාව සහ චීනය සමග හොඳහිතක් පවත්වා නොගත්ත ද මර්කල්ගේ පාලනය යටතේ ජර්මනියට සාර්ථක සම්බන්ධයක් එම රටවල් සමගින් පවත්වා ගෙන යෑමට හැකි විය. ඇය චීනය සමගින් ඉතා හොඳ සම්බන්ධයක් ගොඩ නගා ගත් අතර ඇයගේ පාලන කාලය තුළ දී ජර්මනියේ සිට චීනයට සිදු වන අපනයන ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ නැංවීමට සමත් වූවාය. රුසියානු නායක ව්ලැද්මීර් පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නිට සහයෝගය දැක්වීමට මර්කල් කටයුතු කළ ද රුසියාව ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට එය බාධාවක් කර නොගැනීමට ඇය කටයුතු කළාය.
ඇයගේ ප්‍රතිපත්තියේ තිබූ විශේෂත්වයක් වූයේ හදිසියේ තීරණ නොගැනීමයි. බොහෝ කරුණු සහ දත්ත රැස් කිරීමෙන් පසු මර්කල් තීරණවලට එළැඹෙයි. මේ හේතුවෙන් ඇගේ ගමන මන්දගාමී වූවක් විය. මෙය ජර්මනියේ තරුණ පරපුර නොරිස්සූ දෙයක් වූ අතර විශේෂයෙන් ලෝකයේ සෙසු සංවර්ධිත රටවල සාපේක්ෂව ජර්මනියේ ඩිජිටල් නවෝත්පාදන පහළ වැටීම සහ ඒ සඳහා විවර කළ අවකාශය ප්‍රමාණවත් නොවීම බොහෝ නව පරපුරේ ඡන්ද ඇගේ දේශපාලන පක්ෂයට නොලැබී යෑමට හේතුවක් විය. ඇය කිසිදු අවස්ථාවක දී තමන්ගේ වටිනාකම් පාවා දීමට කටයුතු නොකළාය.
ඇන්ජලා මර්කල්ගේ පෞද්ගලික ජීවිතය ගන්නා විට ඇය බොහෝ කම්කටොළුවලට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි චරිතයක් විය. ඇය ඉපදුනේ සමාජවාදී පාලනයක් වශයෙන් පැවති නැගෙනහිර යුරෝපයේ වන අතර ඇයගේ පියා කිතුනු පූජකයෙකු විය. විද්‍යාඥවරියක ලෙස පුහුණුව ලැබූ ඇය 1986 වසරේ දී ක්වොන්ටම් රසායන විද්‍යාව සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය ලැබූවාය. 1989 වසරේ බර්ලින් තාප්පය බිඳ දමමින් ජර්මනිය එක්සත් කිරීම ඇය ඉහළින් සැමරූ අතර අවුරුදු 40කට වැඩි කාලයක් පැවති කොමියුනිස්ට් පාලනයේ පැවති බොහෝ දුර්වලතා ඇය දැක තිබිණ. මෙය ඇයගේ දේශපාලන ප්‍රතිපත්ති සකස් කිරීමේ දී බොහෝ සෙයින් බලපෑවේය.
නැගෙනහිර ජර්මනියේ දිළිඳු පවුලකින් පැවත ඒමේ සිට ඇය ඉතා අරපිරිමැස්මෙන් කටයුතු කළ කාන්තාවක් වූ අතර අනවශ්‍ය සුඛෝපභෝගී ජීවිතයක් ගත නොකිරීම නිසා ලෝක නායකයන් අතර කැපී පෙනෙන චරිතයක් බවට පත් වූවාය. තමන්ගේ ම අතින් බිල්පත් ගෙවා තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය අඩුම කුඩුම මිළ දී ගන්නා ඇය රසායන විද්‍යාඥයෙකු වන ඇයගේ සැමියා සමග ඉතා සරල ජීවිතයක් ගත කළාය. ඉතා හොඳින් ඉවුම් පිහුම් කිරීමට සමත් වූ කාන්තාවක් වූ ඇය ඇයගේ ස්වාමිපුරුෂයා වෙත තමන්ගේ ම අතින් ආහාර සකස් කර දීමට කටයුතු කළාය. ඔවුන් නිවාඩු ගත කිරීම සඳහා යෑමේ දී කිසිදු රාජ්‍ය සම්පතක් භාවිත නොකිරීමට වග බලා ගත් අතර ජර්මනියේ අතිසුඛෝපභෝගී රාජ්‍ය ගුවන් යානා වෙනුවට සාමාන්‍ය පන්තියේ ගුවන් යානාවල තමන්ගේ අතේ වියදමින් එම ගමන් යෑමට කටයුතු කෙරිණ. මර්කල් සහ ඇගේ සැමියා කඳු නැගීම කෙරෙහි විශේෂ ඇල්මක් දැක් වූ අතර සැමියා ප්‍රසිද්ධියේ පෙනී සිටීමට හා ජනප්‍රියත්වයට අකමැති වූ පුද්ගලයෙකු විය.
ඇයගේ සරල ජීවිතය, අනාගත දැක්මකින් යුතු තීරණ ගැනීමේ හැකියාව, මානුෂිකත්වය මත පදනම් වූ වටිනාකම් මෙන් ම සාමාන්‍ය මිනිසුන් කෙරෙහි සංවේදී වීම වැනි කරුණු නිසා ඇන්ජෙලා මර්කල් ජර්මානු ඉතිහාසයේ පමණක් නොව සමස්ත ලෝකයේ ම සදානුස්මරණීය චරිතයක් බවට පත් වනු ඇත.
No comments:
Post a Comment