මිනිසා විසින් දුන්න සහ ඊතලය භාවිතය ආරම්භ කරන්නේ මිනිස් ඉතිහාසයේ ඉතා ඈත අවදියක දී වන අතර එය අනිවාර්ය වශයෙන් ම වාර්තාගත වී ඇති ඉතිහාසයට වඩා එපිටට යන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ හේතුවෙන් දුන්න සහ ඊතලය මිනිසාගේ ඉතා ප්‍රාථමික ආයුධයක් වශයෙන් සැලකෙන අතර ප්රාග්ඓතිහාසික යුගයේ එසේත් නොමැති නම් ගල් යුගයේ ආයුධයක් වශයෙන් හැඳින්විය හැකිය.
න්‍යෂ්ටික බෝම්බ මිසයිල ආදිය නිෂ්පාදනය කරන අද ලෝකය තුළ දුන්න සහ ඊතලය භාවිත කරන ගෝත්‍රික ජනතාව ජීවත් වෙමින් සිටින බව නොරහසක් වුවත් ලෝකයේ සංවර්ධිත ම රාජ්‍යයක් වශයෙන් හැඳින්වෙන නෝර්වේ රාජ්‍යයේ දුන්නෙන් විඳ මිනිසුන් පස් දෙනෙකු මරා දැමීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. නොර්වේ රාජ්‍යයේ කොන්ස්බර්ග් නගරයෙන් මෙම සිද්ධිය වාර්තා වූ අතර මිය ගිය පුද්ගලයන් පස්දෙනාට අමතර ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කර තිබිණ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඩෙන්මාර්ක් ජාතික 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනු අතර මෙම සිද්ධිය පිටුපස ත්‍රස්තවාදී වුවමනාවක් තිබූ බවට මූලික විමර්ශනවල දී නෝර්වේජියානු පොලීසිය තහවුරු කර තිබේ.
ප්‍රහාරය එල්ල කර පළා යෑමට සැකකරු සමත් වුවද පසුව සිදු කෙරුණු මෙහෙයුම්වල දී ඔහු අත්අඩංගුවට ගැණින. ඒ ප්‍රහාරය එල්ල වීමෙන් පැය භාගයකට පමණ පසුවයි. ප්‍රහාරකයාගේ මව ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් වන පියා නෝර්වේජියානුවෙකි. ඔහු වසර කිහිපයක් පුරා නෝර්වේහි කොන්ස්බර්ග්හි ජීවත් වී තිබේ. එස්පෙන් ඇන්ඩර්සෙන් බ්රාතෙන් නමැති මෙම පුද්ගලයා පසුකාලීන ව ඉස්ලාම් දහම වැළඳ ගත් අයෙකු වේ. මොහු සම්බන්ධයෙන් මීට පෙර ද පොලීසියට ඉව වැටී තිබූ අතර අන්තවාදී මතවාදවලට මෙම පුද්ගලයා යොමු වෙමින් පවතින බවට නිරීක්ෂණය කිරීමට ලැබී තිබිණ. 2017 වසරේ දී අන්තර් ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් මෙම පුද්ගලයා සඳහන් කර තිබුණේ ලෝකයාට අවවාදයක් ලබා දීම සඳහා තමන් මිහිමතට පැමිණි පණිවුඩකරුවෙකු බවයි.
ඔහු අන්තවාදී අදහස් දරන ඉස්ලාමීය කණ්ඩායම් සමගින් පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ සම්බන්ධතා පවත්වා ඇති අතර මොහු ආත්ම ආරක්ෂක සටන් ක්‍රම ද පුහුණු වී ඇති බව ඔහුගේ අසල්වාසීන් පවසා තිබේ. 2012 වසරේ දී මංකොල්ලකෑමේ සිද්ධියකට මෙම පුද්ගලයා සම්බන්ධ වී ඇති අතර එම වසරේ දී ම හෑෂ් නමැති මත්ද්‍රව්‍යය සමගින් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. 2011 වසරේ දී අන්දෙර්ස් බ්රෙයිවික් නමැති පුද්ගලයා විසින් පුද්ගලයන් 69 දෙනෙකු වෙඩි ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු නොර්වේහි ඇති වූ ප්රබලතම ජන ඝාතනය මෙයයි. ඔහු ඉස්ලාමී විරෝධියෙකු වූ අතර නඩු විභාගයේ දී ඔප්පු වූයේ ඔහු දැඩි මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බවයි. 2012 වසරේ දී නඩු විභාගය අවසන් වීමෙන් පසු ව තීරණය කෙරුණේ ඔහුට වසර 21ක සිරදඩුවමක් ලබා දීමට සහ ඔහු තවදුරටත් සමාජයට හානිකර පුද්ගලයෙකු ලෙසින් පෙනී යන්නේ නම් සිරගත කරන කාලය දීර්ඝ කිරීමටයි.
නෝර්වේ රාජ්‍යය තුළ පසුගිය දශක කිහිපය තුළ දී ආගම පදනම් කර ගනිමින් දේශපාලන භීෂණයක් ක්‍රමයෙන් වර්ධනය වී ආ අතර සුදු අන්තවාදී කණ්ඩායමක් එක් අතකින් ක්‍රියාත්මක වෙමින් ඉස්ලාමීය භීතිකාවක් නිර්මාණය කළ අතර ඉස්ලාමීය අන්තවාදීත්වය ද ඒ ආකාරයෙන් ම හිස එසැවීය. මෙම ගැටුම එක්තරා ආකාරයකින් ක්‍රිස්තියානු යුරෝපය සහ ඉස්ලාමීය සභ්‍යත්වය අතර ගැටුමක් යළි ඉස්මතු වීමක් වශයෙන් ද පෙන්වා දීමට හැකිය. එඩ්වර්ඩ් සයිද් වැනි දාර්ශනිකයන් සඳහන් කළේ ඉස්ලාමීය ලෝකය බටහිර වටිනාකම් මගින් ශීඝ්‍රයෙන් ආක්‍රමණය වෙමින් පවතින බවයි. ගෝලීය පරිභෝජනවාදය නැගීමත් සමගින් අරාබි ලෝකය බටහිර වටිනාකම් වැළඳ ගන්නා අතර ගෝලීය සංස්කෘතිය තුළ ඉස්ලාමීය ලෝකය සෑම විට ම දෙවැනි පෙළ බලවේගයක් වශයෙන් පවතිනු ඇති බව සයිද්ගේ අදහස විය.
ඉස්ලාමීය ලෝකයේ සාම්ප්‍රදායික කොටස් බටහිර වටිනාකම්වල ඇති හෙජෙමොනික බලයට විරුද්ධව ක්‍රියාත්මක වන්නට වූ අතර එහි ප්‍රතිඵල විවිධ ආකාරවලින් ප්‍රකාශයට පත් වූ අතර අද වන විට නෝර්වේ රාජ්‍යයේ දුනු ඊතලවලින් විද මිනිසුන් මරා දැමීම තුළින් ඇසෙන්නේ ද එම ගැටුමයි. මුස්ලිම් නව්‍ය අන්තවාදීන් :ඵමිකසප බැද-මෙබා්පැබඒකසිඑි* කණ්ඩායමක් නිර්මාණය වීම අද වන විට ඇමරිකා එක්සත් ජනපදයට ද යුරෝපීය සමාජයට ද විශාල තර්ජනයක් වී ඇත්තේ එම අන්තවාදය දෘෂ්ටිවාදී වශයෙන් සිය මතය පෝෂණය කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ශක්තියක් ලබා ගෙන තිබීමයි. ඉස්ලාමීය ධර්මය අලුත් ආකාරයකින් අර්ථ දක්වන නව ලුම්පන් ඉස්ලාමී බුද්ධි කාණ්ඩයක් :කමපචැබ සබඑැකකසටැබඑිස්* නිර්මාණය වීම පසුගිය කාලයේ දී සිදු වූ බව ඔලිවර් රෝයි වැනි උගතුන්ගේ අදහසයි. එම බුද්ධි කාණ්ඩයේ දෘෂ්ටිවාදී බලපෑම නෝර්වේහි දුනු ඊතල ඝාතකයාට පමණක් නොව ශ්‍රී ලංකාවේ පාස්කු ඉරු දින ප්‍රහාරකයන්ට ද බලපෑවේය.
මෙම ප්‍රහාරය එල්ල වූයේ ද නෝර්වේ රාජ්‍යයේ නව ආණ්ඩුව වැඩ ආරම්භ කිරීමත් සමගිනි. නව ආණ්ඩුව පත් වූයේ එතෙක් බලයේ සිටි කොන්සර්වේටිව් පක්ෂය පසුගිය මාසයේ දී පැවති මහ මැතිවරණයේ දී පරාජය කිරීමෙන් අනතුරුවයි. නෝර්වේ යනු බටහිර වටිනාකම් අනුව විවෘත සමාජයක් වශයෙන් පවත්වා ගෙන ගිය රාජ්‍යයකි. මිනිසුන්ට නිදහසේ සැරිසැරීම අයිතියක් වූ අතර පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබිණ. මෙම ලිබරල් අයිතිවාසිකම් තවදුරටත් නෝර්වේ රාජ්‍යයට පවත්වා ගෙන යෑමට හැකිද යන්න මෙම නවතම ප්‍රහාරයත් සමගින් ඉස්මතු වී තිබේ. නෝර්වේ රාජ්‍යය නේටෝ රටක් වන බැවින් ඉදිරියේ දී ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ ඉහළ අවදානමක් ඇති බවට මීට වසර කිහිපයකට ඉහත දී බුද්ධි අංශ විසින් වාර්තා කර තිබිණ.
නෝර්වේහි පොලීසිය සාමාන්‍යයෙන් ගිනි අවි රහිතව හැසිරෙයි. ඔවුන්ට අයත් ගිනි අවි බොහෝ විට ඔවුන්ගේ පොලිස් වාහන තුළ හෝ පොලිස් ස්ථානවල තබා ගත යුතු වේ. ලක්ෂ 54ක පමණ කුඩා ජනගහනයකින් සමන්විත නෝර්වේ රාජ්‍යයේ අපරාද අනුපාතය ලොව ඉතා ම අඩු අගයක් ගත් අතර ඒ හේතුවෙන් මිනිසුන් සාමාන්‍ය ජන ජීවිතයෙහි නිදහසට බාධා කිරීමට ද ආරක්ෂක අංශවලට මෙතෙක් කිසිදු වුවමනාවක් නොතිබිණ. එහෙත් නෝර්වේහි පමණක් නොව සමස්ත යුරෝපය තුළ ඉස්මතු වෙමින් පවතින ඉස්ලාමීය රැඩිකල්කරණය හමුවේ නෝර්වේ රාජ්‍යයට පමණක් ගැළවී සිටීමට නොහැකි බව මෙම සංසිද්ධියෙන් පෙනී ගියේය. මෙම ප්‍රහාරයෙන් පසු මීළගට වර්ධනය වන්නේ නෝර්වේහි අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් ය.
No comments:
Post a Comment