ලොව න්‍යෂ්ටික අවි ආයුධ රටවල් ඇත්තේ නවයක් පමණකි. ඒ රටවල් නවය අතරින් දෙකක් අපගේ දකුණු ආසියාතික කලාපය තුළ ඇති අතර ඒවා නම් ඉන්දියාව සහ පාකිස්ථානයයි. ඒ අතරිනුත් පාකිස්ථානය විශේෂිත වන්නේ ඉන්දියාව තරම් විශාලත්වයකින් යුතු රාජ්‍යයක් නොවී, එතරම් විද්‍යාත්මක දියුණුවක් ද නොලබා න්‍යෂ්ටික ශක්තිය ලබා ගැනීමයි. පාකිස්ථානය න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1972 වසරේ ජනවාරි මාසයේ දී ය. ඒ එවක අග්‍රාමාත්‍ය සුල්ෆිකර් අලි බූතෝගේ නායකත්වය යටතේයි.
මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය බාර කෙරෙන්නේ එක් මහමොළකරුවෙකුටය. ඒ අබ්දුල් ඛදීර් ඛාන්ටය. යුරෝපයේ ජීවත් වෙමින් සිටි ඛදීර් ඛාන් පාකිස්ථානයට රැගෙන එනු ලබන්නේ අලි බූතෝගේ අනුදැනුම සහ වුවමනාව මතයි. ඛදීර් ඛාන් අවුරුදු 85ක් ආයු වළදා පසුගිය දා සිය ජීවිතයෙන් සමුගත් අතර ඔහුගේ ජීවන පුරාවෘත්තයේ වැදගත්කම සලකා මෙම සටහන ලියැවේ. 1936 වසරේ අප්‍රේල් මස පළමු වැනි දා ඉන්දියාවේ දී උපත ලබන ඔහු ඉන්දියාව සහ පාකිස්ථානය බෙදීමෙන් පසු 1952 වසරේ දී පාකිස්ථානයට සංක්‍රමණය වූවෙකි.
ඔහු බටහිර යුරෝපීය රටවල් කිහිපයක දී න්‍යෂ්ටික භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් ලැබූ අතර ඔහු එම දැනුම පාකිස්ථානයේ න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදන වැඩපිළිවෙළ වෙත යොමු කරමින් පාකිස්ථානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළේ පිතෘත්වය හිමි කර ගැනීමට සමත් විය. 1960 වසරේ දී කරච්චි විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් දිනාගත් ඔහු බටහිර බර්ලිනයේ පශ්චාත් උපාධි අධ්‍යයනයන් සිදු කළේය. ඉන්පසුව තවදුරටත් උසස් අධ්‍යාපනය කටයුතු සිදු කිරීම සඳහා ඛදීර් ඛාන් නෙදර්ලන්තයට පිවිසියේය. 1967 වසරේ දී විද්‍යාපති උපාධියක් දිනා ගැනීමට සමත් වූ ඔහු 1972 වසරේ දී බෙල්ජියමේ දී සිය ආචාර්ය උපාධිය අවසන් කිරීමට සමත් විය. 1972 වසරේ දී යුරෙන්කෝ නම් සමාගමක නෙදර්ලන්ත උප කොන්ත්‍රාත් සමාගමක සේවයට බැඳීමට ඔහුට හැකි වූ අතර එහි දී න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට අවශ්‍ය වන යුරේනියම් සඵලකරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදා කර ගත්තේය.
ඔහු ඉතා සූක්ෂ්ම ලෙසින් න්‍යෂ්ටික තොරතුරු ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ පරාසය ඉක්මවා තොරතුරු වෙත ප්‍රවේශ වී තිබිණ. 1971 වසරේ දී පැවති ඉන්දු පාකිස්ථාන යුද්ධයෙන් පාකිස්ථානය බරපතළ පසුබෑමක් ලැබීම ඛදීර් ඛාන් වෙත මානසික වශයෙන් බලපෑමක් එල්ල කර තිබූ අතර ඔහු ඒ වන විටත් ඇති කර ගෙන තිබූ ජාති වාත්සල්‍යය න්‍යෂ්ටික තාක්ෂණය කෙසේහෝ සිය රටට ගෙන ඒමේ වුවමනාව ඇති කර තිබිණ. 1974 වසරේ මැයි මාසයේ දී සිනාසෙන බුදුන් නමින් ඉන්දියාව විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කිරීමෙන් පසු එම වසරේ ම සැප්තැම්බර් මාසයේ දී ඛදීර් ඛාන් අග්‍රාමාත්‍ය බූතෝ වෙත ලිපියක් ලියමින් පෙන්වා දුන්නේ පාකිස්ථානය තුළ ද න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා උපකාර කිරීමට තමන් කැමති බවයි. ඒ වන විටත් ප්ලූටෝනියම් ආශ්රිත ව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ උත්සාහයක් පාකිස්ථානය දරා තිබූ අතර සිය ලිපියෙන් ඛදීර් ඛාන් පැහැදිලි කර තිබූණේ යුරේනියම් භාවිතයෙන් ඊට වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි අතර තමන් සතු දැනුම ඒ සඳහා යෙදවීමට සූදානම් බවයි.
1974 වසරේ දෙසැම්බර් මාසයේ දී බූතෝ සහ ඛාන් මුණ ගැසුණු අතර පාකිස්ථානයේ න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට මෙහි දී එකගතාව ඇති විය. ඛදීර් ඛාන් විසින් යුරෝපීය න්‍යෂ්ටික තාක්ෂණයේ සැලසුම් සපුරා සොරා ගැනීමක් සිදු කළ අතර එය පාකිස්ථානය තුළ අත්හදා බලන්නට විය. 1998 වසරේ මැයි මස 28 වනදා සාර්ථක ලෙසින් ප්‍රසිද්ධියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට පාකිස්ථානය සමත් වූ අතර එය චාගෙයි එක වශයෙන් නම් කෙරිණ. මෙම අත්හදා බැලීමත් සමගින් ප්‍රසිද්ධියේ න්‍යෂ්ටික අවි හදා බැලූ ලෝකයේ 7 වැනි රට බවට පත් වූ අතර ඒ සමගින් ම එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට මුහුණ දීමට ද සිදු විය.
මෙම අත්හදා බැලීම සිදු වූයේ බලුචිස්ථානයේ කදු වැටියක දී වන අතර 1998 වසරේ මැයි මස 13 වැනි දින ම ඉන්දියා සිදු කළ පොක්රන් දෙක න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර වශයෙන් මෙය සිදු කෙරිණ. ඉන්දියාවට එරෙහි ව තවත් න්‍යෂ්ටික බලවතෙකු බවට පත් වීමට පාකිස්ථානයට උපකාර කිරීම හේතුවෙන් ඛදීර් ඛාන් පාකිස්ථානු ජනතාව අතර සදාකාලික වීරයෙකු වී සිටින අතර ඔහුගේ අභාවය බොහෝ දෙනෙකු තුළ විශාල කම්පාවක් ඇති කළේය. මිය යන විට 85 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ මරණයට හේතු වූයේ කෝවිඩි 19 ආසාදනය වීමයි.
ඛදීර් ඛාන් වෙත බටහිර ලෝකයෙන් චෝදනා ද එල්ල වූ අතර ඉන් ප්‍රධානතම චෝදනාවක් වූයේ ඔහු න්‍යෂ්ටික දැනුම රහසිගත ව ඉරානය, උතුරු කොරියාව ආදී රාජ්‍යයන් වෙත අලෙවි කිරීමට කටයුතු කළ බවයි. ඛදීර් ඛාන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් සී.අයි.ඒ. සංවිධානය ඉතා සමීප ලෙසින් නිරීක්ෂණය කළ අතර 2000 දශකයේ මුල් භාගයේ දී ඛදීර් ඛාන්ගේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් යම් කරුණු අනාවරණය කර ගැනීමට එම සංවිධානය සමත් විය. මේ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම යටතේ එවක ජනාධිපති ජෙනරාල් පර්වේස් මුෂාරෆ් විසින් පාකිස්ථානයේ ජාතික න්‍යෂ්ටික බලශක්ති රසායනාගාරයෙන් ඛදීර් ඛාන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ. කෙසේවෙතත්, ඔහු රාජ්‍යයේ න්‍යෂ්ටික උපදේශකවරයෙකු වශයෙන් අඛණ්ඩ ව කටයුතු කළේය.
පසුව 2004 වසරේ දී ඛදීර් ඛාන් සියලු සේවාවලින් ඉවත් කිරීමට මුෂාරෆ් පියවර ගත්තේය. ඔහු රහසිගත ජාලයන් ඔස්සේ විදෙස් රටවලට න්‍යෂ්ටික දැනුම අලෙවි කර ඇති බව හෙළි වීම නිසා වසර කිහිපයක් නිවාස අඩෙවියේ තැබීමට පාකිස්ථානු රජය කටයුතු කළේය. කෙසේවෙතත්, කිසිදු අවස්ථාවක දී ඔහුට එරෙහි ව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට මුෂාරෆ් ඉඩක් දුන්නේ නැත. පසු අවස්ථාවක දී ඛදීර් ඛාන් කියා සිටියේ රහසේ තොරතුරු හුවමාරු කිරීම සඳහා රාජ්‍යය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය තමන්ගේ වුවමනාවට සිදු වූවක් නොවූ අතර කරුණු හෙළි වීමත් සමගින් රාජ්‍යය මගින් තමන් බිල්ලට දුන් බවයි. 2009 වසරේ දී ඔහු නිවාස අඩස්සියේ තැබීම අවසන් කෙරිණ.
1974 වසරේ දී ඉන්දියාව විසින් සිනාසෙන බුදුන් (Smiling Buddha) නමින් ඉන්දියාව විසින් න්‍යාෂ්ටික අවි අත්හදා බැලීමක් සිදු කිරීම පාකිස්ථාන න්‍යාෂ්ටික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවීම කෙරෙහි ඛදීර් ඛාන්ගේ අවධානය යොමු කරවීමට හේතු විය. 1980 දශකයේ දී සියා උල් හක් යටතේ ඛදීර් ඛාන්ගේ ව්‍යාපෘතිය සඳහා විශාල සහයෝගයක් ලැබුණු අතර එරට ජාතික න්‍යෂ්ටික රසායනාගාරය ද ඔහුගේ නමින් නම් කෙරිණ.
කෙසේවෙතත්, බටහිර ලෝකයේ ඇතැම් යුද විශ්ලේෂකයන් ඛදීර් ඛාන් නම් කළේ ලෝකයේ භයානකම මිනිසා ලෙසිනි. සීඅයිඒ සංවිධානයේ හිටපු අධ්යක්ෂ ජොර්ජ් ටෙනෙට්ගේ අදහස වූයේ ඛදීර් ඛාන් යනු ඔසාමා බින් ලාඩන්ටත් වඩා භයානක මිනිසෙකි. පහසුවෙන් කෙනෙකු යෑමට නොහැකි උතුරු කොරියාවට අවස්ථා 13ක දී ඛාන් ගොස් ඇත. උතුරු කොරියාවේ න්‍යාෂ්ටික වැඩපිළිවෙළේ ප්‍රධාන කොටස්කරුවෙකු වශයෙන් ඔහු කටයුතු කර ඇති බව බටහිර ඔත්තු සේවාවල පිළිගැනීමයි.
No comments:
Post a Comment