Saturday, November 13, 2021

උතුරු කොරියා - භූ දේශපාලනය

 

දර්ශන අශෝක කුමාර

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ජූනි මස 12 වෙනිදා සිංගප්පූරුවේ දී පැවති සාකච්ඡා මුළු ලෝකයේ ම අවධානය දිනා ගත්තේය. ඊට මූලික හේතුවක් වූයේ උතුරු කොරියාව සතු න්‍යෂ්ටික බලයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් වූ සම්මුතියක් පවත්වාගෙන යයි. එය හැඳින්වෙන්නේ න්‍යෂ්ටික අවි අසඵලකරණය පිළිබඳ සම්මුතිය( Treaty on the Non-Proliferation of Nuclear Weapons) ලෙසයි. මෙම සම්මුතිය ඇති කර ගැනෙන්නේ 1960 වසරේ ජූලි මස 01 වැනි දිනයි. මේ වන විට ලෝකයේ රටවල්වලින් අතිවිශාල සංඛ්‍යාවක් එහි සාමාජිකත්වය ගෙන ඇති අතර සම්මුතියේ වර්තමාන පාර්ශ්වකරුවන් සංඛ්‍යාව 190කි.

එහෙත් රටවල් කිහිපයක් මෙම සම්මුතියට අත්සන් තබා නැත. අත්සන් තබා නැති රටවල් නම් ඉන්දියාව, පාකිස්ථානය, ඊශ්‍රායල, උතුරු කොරියාව, දකුණු සූඩානයයි. උතුරු කොරියාව කලක් මෙම සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වුවද පසුව ඉවත් විය. මෙම රටවල් අතරින් දකුණු සූඩානය ඉතා මෑතක දී බිහි වූ රටකි. එරට සතුව න්‍යෂ්ටික බලයක් නොමැත. එහෙත් අනෙක් රටවල් හතර සතු ව ම න්‍යෂ්ටික බලය ඇත.

න්‍යෂ්ටික අවි අසඵලකරණය පිළිබඳ සම්මුතිය මඟින් න්‍යෂ්ටික අවි සතුව ඇති බොහෝ රටවල් අතර යම් වගකීමෙන් බැඳීමක් සනිටුහන් වෙයි. එහෙත්, මෙම ගිවිසුමට අත්සන් තබා නැති උතුරු කොරියාව, ඊශ්‍රායලය වැනි රටවල් සතුව න්‍යෂ්ටික අවි පැවතීම සැබැවින් ම තර්ජනකාරීය. ඉන් අදහස් වන්නේ න්‍යෂ්ටික අවි යනු ආරක්ෂාකාරී යමක් යන අදහස නොවේ. කුමන රටක් සතු ව හෝ න්‍යෂ්ටික අවි පැවැතීම අයහපත් ය. එහෙත් කිසිදු සම්මුතියක් බැඳී නැති රටක් තුළ න්‍යෂ්ටික අවි පැවතීම බෙහෙවින්  තර්ජනකාරීය.

උතුරු කොරියාව ආරම්භයේ පටන් ඒකාධිපතිපත්වය මත ක්‍රියාත්මක වන අතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉඩක් නොසලසන රාජ්‍යයකි. 1950 දශකයේ පැවති බිහිසුණු කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු කොරියාවේ ආරම්භක නායකයා වන්නේ වත්මන් නායක කිම් ඉල් සුං ය. කොරියානු අර්ධද්වීපය උතුරු සහ දකුණු වශයෙන් බෙදීමෙන් පසු උතුරු කොරියාව රුසියානු සහ චීන පාර්ශ්වය ද දකුණු කොරියාව ඇමරිකානු පාර්ශ්වය ද ගත්තේය.

මේ අනුව උතුරු කොරියාව සමාජවාදී දේශපාලන දෘෂ්ටිවාදය මත ක්‍රියාත්මක වූ අතර සෝවියට් කඳවුරේ හිතෛෂියෙකු විය. උතුරු කොරියාවට න්‍යෂ්ටික බලය ලැබෙන්නේ ඒ ඔස්සේය. උතුරු කොරියාවේ බහුපකෂ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවේ. එහි සිටින්නේ උත්තරීතර නායකයෙකි. වත්මන් කිම් ජොන් උන්ගේ සීයා පළමු උත්තරීතර නායකයා වූ අතර ඔහු උතුරු කොරියාව බිහි වීමේ සිට 1994 වසර වන තුරු රට පාලනය කළේය. පසුව ඔහුගේ පුත්‍රයා වූ කිම් ජොං ඉල්, එනම් වත්මන් නායක කිම් ජොං උන්ගේ පියා බලයට පත් විය.

 

කිම් ඉල් සුං හෝ කිම් ජොං ඉල් හෝ කිම් ජොං උන් හෝ යටතේ උතුරු කොරියාව බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති වින්දේ නැත. ඇත්ත වශයෙන් ම මෙම නායකයන් තිදෙනාට ම පැවතියේ අසීමිත බලයකි (Absolute Power). මේ අසීමිත බලය හමුවේ ඕනෑම අවස්ථාවක දී ඕනෑම දෙයක් කිරීමේ හැකියාව නායකයෙකුට ලැබෙයි. මේ නිසා ම මෙම නායකයන් තිදෙනා ම හඳුන්වන ලද්දේ බලසම්පන්න නායකයන් (Supreme Leaders) වශයෙනි.

න්‍යෂ්ටික අවි යනු සෙල්ලමක් නොවේ. පරම බලය ඇති පුද්ගලයෙකු අතේන්‍යෂ්ටික අවි බලය  පැවතීම සරල ගැනීමට නොහැකිය. ලෝකයේ මුල් ම වරට න්‍යෂ්ටික අවියක් භාවිත කෙරෙන්නේ දෙවැනි ලෝක යුද්ධයේ දී ය. ඒ ජපානයට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදයයි. හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට එල්ල වූ මෙම න්‍යෂ්ටික අවි ප්‍රහාර නිසා ලක්ෂ දෙකකට වැඩි මිනිසුන් මිය ගියේ යැයි නිල වාර්තා පවසයි. තවත් සිය දහස් ගණනක් යුග ගණනක් දුක් වින්දහ. පිළිකා ආදී රෝගවලට ගොදුරු වූහ.

වර්තමානය වන විට ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, ඉන්දියාව, පාකිස්ථානය, ආදී රටවල න්‍යෂ්ටික අවි පැවතිය ද අප පෙර කී පරිදි ඉන් බහුතරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සම්මුතියකට බැඳී ඇති අතර උතුරු කොරියාව කිසිදු වගකීමකින් බැදී නොමැත. අනෙක් රටවල බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන අතර මිනිසුන්ගේ ඡන්දයෙන් නායකයන් තෝරා ගැනීම සිදු වෙයි. එහෙත්, උතුරු කොරියාවේ පරම බලය ඇති නායකයෙක් සිටී.

උතුරු කොරියාව අවස්ථා ගණනාවක දී නිවේදනය කළ පරිදි එය සතුව අන්තර් මහද්වීපික න්‍යෂ්ටික පුපුරුවා හැරීම් කළ හැකි මිසයිල ඇත. උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් සඳහන් කළේ විනාශයේ බොත්තම ඇත්තේ තම මේසය මත බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඕනෑම ස්ථානයකට එම අවිවලින් ප්‍රහාර එල්ල කළ හැකි බව ද හෙතෙම අවස්ථා කිහිපයක දී කියා ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ දී ඇමරිකා ජනාධිපතිවරයා සමඟ උතුරු කොරියා නායකයා සාකච්ඡාවකට යොමු වීම සැබෑ ලෙස ම ඓතිහාසික වැදගත්කමකින් යුතු කරුණකි.

එහෙත්, මෙම සාකච්ඡා ආකාස්මික ලෙස සිදුවන ඒවා නොවේ. ඒවා තුළ කලාපීය දේශපාලනය ද ජාත්‍යන්තර දේශපාලනය ද පිළිබඳ ක්‍රීඩාවක් පවතී. කිම් ජොං උන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ද සාකච්ඡා පැවැත්වීමෙන් පසු ද චීන නායකයා හමු විය. උතුරු කොරියාව මුළුමනින් සිය පණ නල ගැටගසා ගන්නේ චීනයේ සවියෙන් යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.

උතුරු කොරියානු නායකයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුව පැවැත්වුණේ චීනයේ බීජිං නගරයේ දී යි.  එය සිදු වන්නේ ජනාධිපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වී යන්තමින් සතියක් ගිය තැන දී යි. කිම් ජොං උන්ගේ ප්‍රථම විදේශ සංචාරය වූයේ ද චීනයටයි. ඒ ඇමරිකා උතුරු කොරියා සාකච්ඡා ආරම්භ වීමට පෙරයි. ඉතා ගුප්ත වැසුණු රාජ්‍යයක් වශයෙන් පැවති උතුරු කොරියාව මෙම දේශපාලන ක්‍රීඩාවේ දී රඟන භූමිකාව කුමක් ද යන්න පිළිබඳ විචාරකයන් තුළ විවිධ අදහස් පවතී.

චීනය නීතයෙන් බැඳී ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වන එක ම රට වන්නේ ද උතුරු කොරියාවයි. 1961 වසරේ සිට දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවක් ක්‍රියාත්මක වෙයි.  එසේ ම මෙම රටවල් දෙක අත්සන් කර ඇති ගිවිසුම් අනුව කිසියම් රටකට එරෙහි ව ජාත්‍යන්තර වශයෙන් බලපෑමක්, යුද ගැටුමක් වැනි දෙයක් ඇති වුවහොත් එකම පාර්ශ්වයක සිට කටයුතු කළ යුතුය.

මෙම නීතිය අනුව දකුණු කොරියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය යන පාර්ශ්වවලින් යම් ආකාරයක ප්‍රහාරයක් එල්ල වුවහොත් චීනයට මැදිහත් වීම සඳහා නියත  බැඳීමක් පවතී. චීනය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින්නේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකකරණයකි (Economic Diplomacy). මෙහි දී චීනය සෙසු රටවල් සමඟ බලපෑම පවත්වා ගන්නේ අවියෙන් හෝ බලයෙන් නොව ආර්ථිකය ඔස්සේ ය. චීනය මේ වන විටත් ලෝකයේ නිෂ්පාදන බලාගාරය වී හමාරය. ඉදිරියේ දී ලෝක ආර්ථික බලවතාද වනු ඇත. අප්‍රිකාව, ආසියාව ආදී රටවල චීන ජනතාව ස්ථාන ගත කරමින් නව ව්‍යාප්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටී. එය වඩාත් හොඳින් විශද වන්නේ එක් තීරුවක් එක් මාවතක් වැඩසටහන තුළිනි.

මෙනයින්, චීනයට උතුරු කොරියානු සාධකය කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වෙයි. මෙම සමස්ත ක්‍රියාවලිය තුළ දී ඉදිරි පසින් මෙන් ම පසුපසින් ද ඇති සාධක හඳුනා ගැනීම අවශ්‍ය වේ. මේ මොහොතේ දී චීනය යුද්ධයක් නොඉල්ලයි. ඒ මක් නිසාද යත් ජයග්‍රහණය අත උඩ ඇති බැවිනි. එසේ නම්, නැගෙනහිර ආසියා කලාපය තුළ ගෞරවාන්විත සාමයක් ආරක්ෂා කර ගැනීමට චීනයට වුවමනා වෙයි.

උතුරු කොරියාව කලාපයේ අනෙකුත් රටවල් වන දකුණු කොරියාව හෝ ජපානය සමඟ හෝ කලාපයෙන් බැහැර වූ ඇමරිකා එක්සත් ජනපදය සමඟ හෝ යුද්ධයකට පැටලීම චීන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අඩපණ කරන්නකි. එවැනි යුද්ධයකට මැදිහත් වීම සඳහා චීනයට‍ නෛතික බැඳීමක් ද ඇත. එවැනි බැඳීමක් නොමැති ව පවා චීනය උතුරු කොරියාව සම්බන්ධ ගැටලුවට මැදිහත් වී තිබේ. උදාහරණයක් ලෙස 1950 දශකයේ මුල් භාගයේ දී ඇති වූ කොරියානු යුද්ධයේ දී එක්සත් ජාතීන්ගේ හමුදා කොරියානු යුද්ධයට මැදිහත් වූ විට චීනය මිලියන ගණනින් සිය හමුදා භට කණ්ඩායම් උතුරු කොරියාවේ සහායට යොමු කළේය.

1976 වසරේ දී මාඕ සේතුංගේ මිය යෑමෙන් පසු චීනය සිය ප්‍රතිපත්තිය විශාල වශයෙන් වෙනස් කළේය. දෘෂ්ටිවාදී පදනමක් මත පැවති දේශපාලනයේ තිබූ යුතෝපියානු අදහස් ඉවත් කර ප්‍රයෝජ්‍යතා ලක්ෂණ ඊට ඇතුළත් කර ගැණින. එහි අවසන් ප්‍රතිඵලයක් වී ඇත්තේ අපනයනය කේන්ද්‍ර කර ගත් ආර්ථියක් නිර්මාණය කිරීමයි. එම වැඩපිළිවෙළේ දී චීනය සිතුවාටත් වඩා සාර්ථක විය. චීන බඩු නැති වෙළෙඳපොළක් අද ලෝකයේ කොහේ හෝ සොයා ගැනීමට නොහැකිය. මෙවැනි පසුබිමක් යටතේ ලෝක පාලනය බඩු භාණ්ඩ (Commodities) මඟින් තම අතට ගැනීමට ඇති හැකියාවට පරදු තැබීමට චීනයට අවශ්‍ය වන්නේ නැත.

ලෝක දේශපාලනය තීරණය වනනේ ද මෙවැනි සංදර්භයක් යටතේ ය. උතුරු කොරියානු සාධකය මනා ලෙස කළමනාකරණය කර ගැනීමට සමත් වීම යම් ආකාරයකින් දකුණු කොරියාවට හෝ ඇමරිකා එක්සත් ජනපදයට බලපාන්නේ ද ඒ මට්ටමින් ම හෝ ඊටත් වැඩියෙන් චීනයට බලපානු ඇත.

 

No comments:

Post a Comment