Saturday, November 13, 2021

මානව හිමිකම් කවුන්සිලය හා ඩොනල්ඩ් ට්‍රම්ප්

 

 දර්ශන අශෝක කුමාර

 ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයෙන් පසුගියදා ස්වකැමැත්තෙන් ඉවත් විය. ඔවුන් ඉවත් වූයේ ජගත් මානව හිමිකම් කවුන්සිලය යනු දේශපාලන පාක්ෂිකත්වයේ වසුරු වළක් (cesspool of political bias) බවට චෝදනා කරමිනි.

මානව හිමිකම් කවුන්සිලය සඳහා වන  ඇමරිකා නියෝජිතවරිය වන  නිකී හේලේ කියා සිටියේ කවුන්සිලය තුළ දී මානව හිමිකම් විහිළුවකට ලක් වෙමින් තිබෙන බවයි. කෙසේවෙතත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක දේශපාලනය තුළ බරපතළ ම වැදගත්කමක් හිමි කරගත් ක්ෂේත්‍රයක් ලෙස මානව හිමිකම් හඳුනා ගැනීමට හැකිය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම යන තේමාව පාදක කර ගනිමින් ම ඇතැම් රාජ්‍යයන් වෙත මැදිහත් වීම ද වරින් වර සිදු විය.

මානව හිමිකම් පිටුපස ඇත්තේ ප්‍රංශ විප්ලවයේ සිට පැවත එන අදහස් පද්ධතියකි. එය බොහෝ දුරට බටහිර ලෝකය තුළ නිපන් ප්‍රතිමාන පද්ධතියක් මත පිහිටා ඇත. මානව හිමිකම් මඟින් අවධාරණය කෙරෙන බොහෝ සංකල්ප විප්ලවයෙන් පසු බිහි වූ ප්‍රංශ ව්‍යවස්ථාව තුළ ද දැක ගැනීමට ලැබිණ. උදාහරණයක් ලෙස තනි පුද්ගලයාගේ අයිතීන් පිළිබඳ අදහස කරළියට පැමිණෙන්නේ ද ප්‍රංශයෙනි.

ඇමරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීම හදිසි ක්‍රියාවක් ලෙස පෙනී ගිය ද මෙය කිසිසේත් හදිසි ක්‍රියාවක් වශයෙන් හඳුනා ගැනීමට නොහැකි බව මෑත ඉතිහාසය විමසා බැලීමේ දී සනාථ වෙයි.  ඇමරිකා එක්සත් ජනපදයට මානව හිමිකම් කවුන්සිලය තුළ දී අවස්ථා කිහිපයක තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවා ගැනීමට නොහැකි වන බව පෙනී ගියේය. ජෙරුසෙලමේ නව ඇමරිකානු තානාපති කාර්යාලයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ඇති වූ අර්බුදය ඊට මනා උදාහරණයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වුවමනාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව වඩා හොඳින් පෙනී ගියේ  මෙම සිද්ධියේ දී ය. එහෙයින්, ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චෝදනා කළේ මානව හිමිකම් කවුන්සිලය යනු මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ගේ ගුහාවක් වී ඇති බවයි. ඔහු එහි දී ප්‍රධාන වශයෙන් ඇඟිල්ල දිගු කළේ චීනයට සහ තම මතයට අවනත නොවන රටවලටයි.  

2017 වසරේ දී චීනයේ අනුග්‍රහය යටතේ සාර්ථක ලෙස කවුන්සිලයට යෝජනාවක් ගෙන ඒමට හැකි විය. ඒ ඔස්සේ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින බටහිර අදහසට වඩා වෙනස් වූ ආකාරයේ ආකෘතියක් හෙවත් චීන මොඩලයක් ගෙන ඒමේ ආරම්භක පියවර තැබීමට හැකිවිය.

ජගත් මානව හිමිකම් කවුන්සිලය යනු සාමාජික රටවල් 47කින් යුතු ආයතනයකි. කවුන්සිලයට සාමාජිකයන් පත් කර ගැනෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ය.  

මෑත භාගය වන විට එක්සත් ජාතීන්ගේ ආයතනවල දක්නට ලැබුණු ප්‍රවණතාවක් නම් චීනය සහ රුසියාව එක් ව ඒවායේ ඇති බල සංතුලනය වෙනස් කිරීමයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට තිබූ සියල්ල කර ගැනීමේ බලය මෑතභාගයේ දී අභියෝගයට ලක් වන්නට විය. රුසියාවටත් වඩා මෙහිදී වැඩිම බලපෑමක් කරන්නේ චීනයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් ගැනීමට නියමිත වූ තීරණ කීපයක් ආපසු හැරවීමට චීනයට සහ රුසියාවට හැකිවිය. ඒ තමන් ලබා දෙන දායක මුදල් නවතා දමන බවට තර්ජනය කිරීමෙනි. චීනය මානව හිමිකම් සම්බන්ධයෙන් බටහිර ලෝකය වෙතින් දිගින් දිගට චෝදනාවලට ලක් වන රාජ්‍යයකි.  

එහෙත් චීනය සදහන් කරන්නේ තමන් සතුව ඇත්තේ තමන්ට ම අනන්‍ය වූ මානව හිමිකම් ක්‍රමයක් බවයි. එය බටහිර දී පුද්ගල නිදහස මත කේන්ද්‍ර වූව ද නැගෙනහිර දී සමූහය මත කේන්ද්‍ර විය යුතු බව චීනයේ අදහසයි. මෙම චීන මොඩලයේ දී භාෂණයේ නිදහස, මත දැරීමේ නිදහස වැනි දේට වඩා ආර්ථික ශක්තිය සහ ජාතික සංවර්ධනය ප්‍රමුඛ යැයි සිතනු ලැබේ.  චීන බලයට මානව හිමිකම් කොමිසම නතු වීම ඇමරිකා එක්සත් ජනපදය නොරිස්සූ අතර මානව හිමිකම් කරන්නන්ගේ රජ දහනක් බවට එය පත් වී ඇති බව සඳහන් කළේ එහෙයිනි.

2006 වසරේ මාර්තු මස 15 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බිහි කර ගැනෙන්නේ ම මෙම කඹ ඇඳීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කවුන්සිලය බිහි වීමට පෙර පැවතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමයි. මානව හිමිකම් කොමිසම 1946 වසරේ සිට 2006 වසර දක්වා ක්‍රියාත්මක විය. මානව හිමිකම් කොමිසම තුළ මානව හිමිකම් කඩ කරන රාජ්‍යයන් රැසක් ඇති බවට එල්ල වූ චෝදනාවල ප්‍රතිඵලයක් වශයෙන් එවක ජගත් මහ ලේකම් කොෆී අන්නන්ගේ නායකත්වය යටතේ මානව හිමිකම් කවුන්සිලය බිහි කර ගත් අතර දැන් නැවතත් ඇමරිකානු පාර්ශ්වයෙන්  පැරණි චෝදනාව ම ‍එල්ල වෙමින් පවතී. ලෝකයේ ප්‍රධානතම මානව හිමිකම් කඩ කරන්නන් වශයෙන් හඳුනා ගෙන ඇති පිලිපීනය, සෞදි අරාබිය, ඊජිප්තුව, වෙනිසියුලාව ආදී රටවල් ද වර්තමාන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් 47 දෙනා අතර වෙයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ වාද විවාද පවතී.  අනෙක් රාජ්‍යයන්ට කුහකත්වය පිළිබඳ චෝදනාව එල්ල කරන ඇමරිකා එක්සත් ජනපදය ම ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් දිගින් දිගට පෙනී සිටී. පසුගිය දා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වීමට හේතුව වශයෙන් ඉදිරිපත් කළේ ද ඊශ්‍රායලය සම්බන්ධයෙන් එම කවුන්සිලය ‍තුළ අසාධාරණ මතයක් පවතින බවයි. සත්‍ය වශයෙන් ම මානව හිමිකම් කවුන්සිලය තුළ බහුතරයක් රාජ්‍යයන් සිටින මතය වන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු වන මානව හිමිකම් කඩවීම්වලට ඍජුව වග විය යුතු බවයි. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදයත් ඊශ්‍රායලයත් අතර දීර්ඝ කාලයක් පවතින ඉතා සමීප සම්බන්ධය නිසා ඇමරිකා එක්සත් ජනපදය ගන්නේ මිතුරාගේ පාර්ශ්වය මිස සත්‍යයේ පාර්ශ්වය නොවන බව පෙනී යයි.  

තමන්ගේ ඉවත් වීම නිවේදනය කරන අවස්ථාවේ දී ඇමරිකා නියෝජිතයන් පෙන්වා දුන් කරුණක් වූයේ චීනයේ හිතවත් රාජ්‍යය වන උතුරු කොරියාව මානව හිමිකම් බිඳ දැමීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවයි. කෙසේවෙතත්, ඇමරිකා එක්සත් ජනපදයේ මෙම ඉවත් වීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපායමාර්ගික පැන යෑමක් යන්න තවමත් පැහැදිලි නැත.

එහෙත්, ඇමරිකාවේ ඉවත් වීමෙන් චීනයට ස්වර්ණමය අවස්ථාවක් උදා වෙයි. ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම ඇති එකම ජාත්‍යන්තර ආයතනය වන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලයයි. චීනයේ අනාගත බලය සමඟ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති සුසමාදර්ශ මාරු වීමේ අවස්ථාවක් ද පවතී. චීනය විසින් දීර්ඝ කාලයක් ඉදිරිපත් කරමින් සිටින මානව හිමිකම් සම්බන්ධ චීන මොඩලයක් තුළින් බටහිර හෙජමොනික බලය බිඳ දැමීමේ උත්සාහයක ඔවුන් නිරත වනු ඇත. එනම්, අප මෙතෙක් මානව හිමිකම් යැයි පිළිගත් දේ සහ ඒ සඳහා පැවති ප්‍රමිති සඳහා අලුත් අර්ථ කථනයක් හිමි වීමට ඉඩ තිබේ.  



No comments:

Post a Comment